17 October 2011

◄ජපානයට සංචාරක වීසා බලපත්‍රයක් අයදුම් කරමු

මුලින්ම කට්ටියගෙන්ම සමාව ඉල්ලලා ඉන්න ඕන බ්ලොග් එක දිහා මාස ගානක් ඇහැක් වත් ඇරලා බලන්න බැරි උන එකට. ගොඩක් කල් අදුන වැඩක් නිසා කෙලින්ම මාතෘකාවට බහිමු.

අපි අද කතා කරන්න යන්නෙ ජපානයට සංචාරක වීසා බලපත්‍රයක් ලබාගැනීමේදී තානාපති කාර්යාලය වෙත නිවැරදිව ලිපි ගොනුවක් ඉදිරිපත් කරන්නෙ කොහොමද කියල කතා කරන්නයි.

මුලින්ම කියන්න ඕන ව්‍යාජ ලිපි ලේඛන නම් ඉදිරිපත් කරන්න හිතන්න එපා. එහෙම උනොත් තානාපති කාර්යාලයෙන් එලියට බහිද්දිම 4 වෙනි තට්ටුවට යන්න පුළුවන්. හික් හික්..

හරි, ජපානයට සංචාරක වීසා බලපත්‍රයක් ලබාදීමේදී එය දවස් 14 සිට 90 දක්වා කාල පරාසයක් සඳහා තමයි නිකුත් කරන්නෙ. මේ සඳහා අවශ්‍ය වන්නෙ බොහොම සුළු ලිපි ලේඛන සංඛ්‍යාවක් තමයි. ඒවායේ නිරවද්‍ය භාවය අව්‍යාජ භාවය සහ තානාපති කාර්යාලයෙන් ඔබේ අයදුම් කිරීමට ලැබෙන තෘප්තිමත් භාවය මත ඔබට වීසා ලැබීම හෝ නොලැබීම තීරණය වෙනව.

මුලික වශයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ජපානය කියන්නෙ ජීවන වියදම (cost of living) වැඩිම රටක්. ඒ රටේ වැසියන්ගේ වෙතනයට සාපේක්ෂව ඒක සාමාන්‍ය දෙයක් උනත් අපේ වගේ රටකට ඒක ඉහල අගයක්. ඒ නිසා සංචාරයකට වීසා බලපත්‍රයක් ලබාගැනීමට අයදුම් කරනවානම් ඔබේ මුල්‍යමය හැකියාව ඉතා යහපත් මට්ටමක පැවතිය යුතුයි.

හැබැයි ඔබට ජපන් මිතුරු මිතුරියන් සිටිනවා නම්, එහි නීත්‍යානුකුලව පදිංචි ඥාතියෙක් හෝ යහළුවෙක් සිටිනවානම් ඔබට ඔවුන් මගින් ආරාධනාවක් (invitation) ලබාගෙන වීසා බාපත්රයට අයදුම් කල හැකියි. සහ එය තමයි සාර්ථකම ක්‍රමය. මොකද අපේ බහුතරයකට ජපානයේ සංචාරයකට ගිහින් ඒ වියදම දරන්න අමාරු බව තානාපති කාර්යාලය දන්නව.

-------------------------------------------------------------------------------------------------------


අපි මුලින්ම බලමු ඒ ආකාරයට යහළුවෙක්,ඥාතියෙක්, දන්නා හඳුනන කෙනෙක් මගින් ඇරයුමක් සහිතව වීසා බලපත්‍රයකට අයදුම් කිරීමේදී අවශ්‍ය වන ලියකියවිලි මොනවද කියල.

■ ඔබ විසින් එක්රැස් කර ගත යුතු ලිපි ලේඛන.


1. ගමන් බලපත්‍රය
2. 45mm x 45mm ප්‍රමාණයේ වර්ණ චායාරුපයක්
3. වීසා අයදුම් පත්‍රයක්.
4. ගුවන් ටිකට් පතක් ලබාගැනීම සඳහා කලින් වෙන්කරවා ගැනීමක් සිදුකල බවට ගුවන්         ප්‍රවේශ  පත්‍ර අලෙවි ආයතනයකින් ලබාදෙන ලිපිය.
5. ඇරයුම් කරන්නාට ඇති ඥාතීත්වය/හැඳුනුම් කම/මිත්‍රත්වය තහවුරු කරන්නාවූ ලිපි ලේඛන. උදා:  උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, චායාරූප, ලියුම්, ව්දියුත් තැපැල් ලිපි.
6. ගමන් වියදම දැරිය හැකි බව තහවුරු කිරීමට අවශ්‍ය ලිපි ලේඛන.                              
 උදා: ආදායම් වාර්තා, වැටුප් ලැබීම් අදාළ ලිපි, බැංකු වාර්තා

■ ඇරයුම් කරු විසින් ඔබ වෙත සැපයිය යුතු ලිපි ලේඛන.


1. Letter of Reason for invitation (ඇරයුම් කිරීමේ හේතුව සඳහන් ලිපිය)
2. Letter of guarantee (අයදුම් කරන්නා වෙනුවෙන් වගවීමේ ලිපිය)
3. Schedule of stay (කාල සටහන)
4. ඇරයුම් කරන්නාගේ ආදායම් සහතික, බැංකු වාර්තා, බදු ගෙවීමේ වාර්තා යන ලිපි ලේඛන වලින් එකක්.
5. ඇරයුම් කරන්නාගේ පදිංචි සහතිකය.
6. ඇරයුම් කරන්න්නා ජපන් ජාතිකයකු නොවේ නම් ඔහුගේ ගමන් බලපත්‍රයේ චායාපිටපතක්, සහ ඔහුගේ ජපානයේ හැඳුනුම් පත්‍රය, රියදුරු බලපත්‍රය වැනි ලියාපදිංච් සහතික.

---------------------------------------------------------------------------------------------------

ඔන්න ඕවා තමයි අවශ්‍ය කරන සම්පුර්ණ ලිපි ලේඛන ගොනුව. පොඩ්ඩක් බරපතලයි වගේද? බය වෙන්න එපා එකින් එක පැහැදිලිව කියල දෙන්නම් ඊළඟ ලිපියෙන්. ඒ ලිපියත් ඉක්මනටම අරගෙන එන්නම්.

- Short-Kutz -

2 comments:

සම්පත් said...

ජපානයේ නීත්‍යානුකූල පදිංචිකරුවකුගෙන් ඇරයුමක් සහ වගවීමේ සහතිකයක් තිබේ නම් වීසා අයදුම්කරු තම මුල්‍යමය හැකියාව තහවුරු කළ යුත්තේ ඇයි? ජපානය තුළ දරන්නට සිදුවන සියළුම වියදම් දරන්නට ආරාධනාකරු සහතික වෙනවා නොවේද? තමුන්ට මුල්‍යමය හැකියාවක් ඇත්නම් ආරධනාවක් අනවශ්‍යයි නේද?

short.kutz said...

හොඳ ප්‍රශ්නයක්. මම මේ ලිපිය ලියන්නෙ ජපානයට වීසා අයදුම් කිරීමේ පළපුරුද්දෙන්. අයදුම් කරු තම මුල්‍යමය හැකියාවක් පෙන්වීමට අවශ්‍ය නැති එක සත්‍යයක්. නමුත් තමන්ගෙ බැංකු ගිණුම වාර්තාවක් හෝ ආදායම් ලබන ලිපි ලේඛනයක් ඉදිරි පත් කිරීම වීසා ලබාගැනීමේදී වැඩි වාසි ඇතිකර දෙන කරුණක් වෙනව. වයසක උදවියට නම් එහෙම අවශ්‍ය වෙන්නෙ නැහැ.
උදා හරණයක් වශයෙන් ගුවන් ටිකට් පත් මිලදී ගැනීම සඳහා අයදුම් කරු විසින් යමකිසි පිරිවැයක් දරන්න වෙනව. නීතිමය වශයෙන් වගවිය යුතු පාර්ශවයෙන් සියලුම වියදම් දැරීමට පොරොන්දු උනත් දෙමව්පියන්, දරුවන් හැරුනුකොට අනිත් අය වගවීමේදී අයදුම්කරුගේ මුල්‍යමය හැකියාවකුත් එකතු උනොත් ඒක අමතර වාසියක්
(මෙයින් අදහස් වෙන්නෙ නැහැ ලක්ෂ 5-10 ක සැලකිය යුතු මුල්‍යමය හැකියාවක් පෙන්විය යුතුයි කියල.)

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...